(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පළාත් සභා 9යෙහිම මැතිවරණය එකම දිනයක පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකදීය.
පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතන ඡන්දය ද එකම දිනයකදී පවත්වන බවට එක්සත් ජාතික පෙරමුණ 2015 ජනවාරි 08 රජය පිහිටුවීමේ ප්‍රචාරක ව්‍යාපාරයේදි ජනතාවට ප්‍රතිඥා දුන් බව සාකච්ඡාවට සහභාගී වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
2015 ජනවාරි 08 දා ජනවරමට දුන් පොරොන්දුව ඉටු කරමින් මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණය එකම දිනක පැවැත් වූ ආකාරය ඇමති වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.
සබරගමුව, නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, උතුර යන පළාත් සභාවන්හි නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර බස්නාහිර හා දකුණු පළාත් සභාවන්හි නිල කාලය අප්‍රේල් මාසයේදී අවසන් වේ. ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මාසයේදී අවසන්වීමට නියමිතය.