(ගයාන් සූරිය ආරච්චි)
ගංජා ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත පේසාලේ පොලිසියේ සිර කූඩුවේ සිටි සිව් දෙනකුගෙන් එක් සැකකරුවෙකු ඊයේ (1) පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පේසාලේ පොලිසිය පවසයි.
මෙසේ පලා ගොස් ඇත්තේ පේසාලේ, පෙරියකර්ෂල් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ක් වන ධීවරයෙකු බව පොලිසිය කියයි.
කේරළ ගංජා කිලෝ 6 ක් සහ ග්‍රෑම් 120ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටියදී මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග මත පේසාලේ පොලිසියේ සිර කූඩුවේ රඳවා තිබුණි.
එහිදී සැකකරුවන්ට ස්නානය කිරීම සඳහා උපසේවක රාජකාරියේ සිටි නිලධාරියා යටතේ එක් අයකු බැගින් තනිකඩ බට නිවස්නයේ නාන කාමරයේ ස්නානය කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
එහිදී පලා ගිය සැකකරු නාන කාමරයේ ඉහළ කවුළුවෙන් පැන පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.