සැකකරු පලා ගියැයි සැරයන්ගේ වැඩ තහනම්


(ගයාන් සූරියආරච්චි)

අධිවේගී මාර්ගයේ දේපොළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ජංගම රථයෙන් වත්තල පොලිසියට බාරදීම සදහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවෙන් මිදී පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරයකුගේ වැඩ තහම් කර ඇති බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ කටුනායක පොලිසියට අනුයුක්ත අධිවේගී මාර්ග සංචාරක පොලිස් කෝට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ සේවය කළ සැරයන්වරයකු බව එම කොට්ඨසාය පවසයි.

එම සැරයන්වරයා සහ පොලිස් සැරයන් රියැදුරකු කටුනායක සිට ඔරුගොඩවත්ත ඉගුරුකඩේ දක්වා ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී අධිවේගී මාර්ගයේ දේපොළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් විසින් පුද්ගලයකු අල්ලා ජංගම සේවයේ යෙදී එම සැරයන්වරයාට බාරදී තිබේ.

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා ජංගම රථයෙන් සැකකරු වත්තල පොලිසියට බාරදීම සදහා රැගෙන යමින් සිටියදී සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයාගේ වැඩතහනම් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය කියයි.