සාදවලදී මත්පෙති විකිණූ පුද්ගලයෙක් මාට්ටු


(සුනිල් ධර්මබන්දු ද සිල්වා)

කාලයක් තිස්සේ සංචාරක හෝටල් වල සාද පැවැත්වෙන දින වලදී ඒවා වෙත ගොස් එම සාද වලට සහභාගී වෙමින් සිටින විදේශීය සංචාරකයින්ට හා අනිකුත් අයවලුන්ට මත් පෙති හා අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් කරගෙන ගිය අයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි.

සැකකරු තලල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

ඔහු කලක් පෞද්ගලික රෝහලක ගිලන් රථ රියදුරෙකු වශයෙන් ද සේවය කර තිබේ.

වැලිගම පොලිස් වසමේ මිරිස්ස ධීවර වරාය පරිශ්‍රයේ සැරිසරමින් සිටියදී ඔහු ගැන සැක සිතී සෝදිසි කිරීමේදී ඔහු සන්තකයේ මත් පෙති 47 ක් ද අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3000 ක් ද තිබී ඇත.

එම මත් පෙත්තක් රුපියල් 8000 කට පමණ අලෙවි කරන බව අනාවරණය වී තිබේ.සැකකරු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.