( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරගහහේන කුඹුක නිවසකදී පැවත්වූ සාදයකින් පසුව නිවසට කඩා වැදී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් නීතීඥවරයා අද (4) හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.
මෙලෙස රිමාන් භාරයට පත් කරන ලද්දේ නිතීඥ ඩිලාන් රණසිංහ නැමැත්තෙකි.
ඊයේ රාත්‍රී සැකකාර නීතීඥවරයා ඔහු පදිංචි නිවස ආසන්නයේ නිවසක පැවති මත්පැන් සාදයකට සහභාගි වී අනතුරුව එහි සිටි පිරිස සමග බහින්බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
බීමතින් සිටි නීතීඥවරයා ඔහුගේ නිවසට ගොස් ගිනිඅවි රැගෙන පැමිණ සාදය පැවති නිවැසියා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බවත් වෙඩි ප්‍රහාරය බිත්තියට සහ ජනේලයට එල්ල වී තිබූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
වෙඩි තැබීමට යොදා ගත් බෝර 12 ගිනි අවියට බලපත්‍ර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

