සහිරා විද්‍යාලයේ අමර්ටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200ක්


  (ඩයනා උදයංගනී)
“හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ ගොඩක් දේවල් කැපකර උත්සාහයෙන් කටයුතු කළ නිසයි. උත්සාහවන්තයා අනිවාර්යයෙන් ජය ගන්නවා” යැයි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සම්පූර්ණ ලකුණු සංඛ්‍යාවම එනම් ලකුණු 200න් 200ක් ලබාගත් මරදාන සහිරා විද්‍යාලයේ මොහොමඞ් ෆර්සාන් මොහොමඞ් අමර් ශිෂ්‍යයා පැවසීය.

දිවයිනේ මුල් ස්ථාන 10 අතරට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබුණ ද ලකුණු 200ක් ලැබේ යැයි අපේක්‍ෂා නොකළ බව කී අමර් ශිෂ්‍යයා ලැබුණු ප්‍රතිඵලය සම්බන්ධයෙන් ආඩම්බර වන බව ද සඳහන් කළේය.

සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි තමන්ගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වී රටට සේවය කිරීම බවද එම දරුවා කීවේය.තම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය.

“මම මුල සිටම ඉහළ ජයග්‍රහණයක් ලබාගන්න සිතුවා. විභාගයට පෙරත් නිවසේදී පාසලේදී පෙරහුරු ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලීවා. ඒවායින් ලකුණු 170 - 190 වැනි ප්‍රමාණ තිබුණා. ඒ නිසා ලංකාවේ මුල් 10 දෙනා අතරට එන්න පුළුවන් වෙයි කියා සිතුවා. මම පාසල් වැඩ වගේම අමතර වැඩත් කළා. පාසලේ දී හොකී, චෙස්, පිහිණුම් ක්‍රීඩාවල නිරත වුණා. කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් ලෙසත් කටයුතු කළා. මගේ විනෝදාංශ පොත් කියවීම හා කාසි එකතු කිරීමයි.

මගේ පියා වන මොහොමඞ් ෆර්ජාන් රක්‍ෂණ සමාගමක සේවය කරනවා. මව වන ෆාතිමා රිස්මිලා ගෘහණියක්. නංගී කෙනෙක් ඉන්නවා. ඒ අයට වගේම මගේ විදුහල්පති රිස්වි මරික්කාර් මහතාටත්, පන්ති භාර ගුරුතුමිය වන නලීමා නසීම් මහත්මියටත්, පුංචි කාලේ සිට ඉගැන්වූ ගුරුවරුන්ටත් මට උදව් කළ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා.”