සවලේ බලයෙන් විසන්ධිකළ ජල සැපයුම යළි ගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජල සැපයුම විසන්ධි කිරීමට ආ නිලධාරීන්ට පහරදී විසන්ධි කළ ජල සැපයුම ලබා ගත් පුද්ගලයකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 

පහර කෑ වැඩ පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් ව ඇත.

මාස කීපයක සිට බිල්පත නොගෙවා එකතුව තිබූ රුපියල් 32000 ක ජල බිල්පත හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට වැඩ පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් පයිප්ප වෑද්දුම්කරුවකු , කම්කරුවකු සහ රියදුරකු බන්ඩාරගම මැදගම , මිණිමුතු මාවත ප්‍රදේශයේ නිවසකට ගොස් තිබූ බව පොලිසිය කියයි.

එහිදී පහර කෑ වැඩ පරීක්ෂකවරයා නිවැසියන්ට ජල සැපයුම විසන්ධි කරන බවට දැනුම්වත් කර ඇති අතර පයිප්ප වෑද්දුම්කරු ජල සැපයුම විසන්ධි කර ඇත.

එසැණින් නිවස තුළ සිට පැමිණි පුද්ගලයා ගලකින් වැඩ පරීක්ෂකවරයාට පහරදී අනතුරුව ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කර පා පහරක්ද එල්ල කර " දීපන් යකෝ වතුර නැත්තං හතර දෙනාම මරනවා මෙතනම යැයි" සවලක් ගෙන තර්ජනය කර ඇති අතර ඊට බිය වූ වැඩ පරීක්ෂක වරයා විසන්ධි කරන ලද ජල සැපයුම යථාවත් කර එම ස්ථානයෙන් සිය පිරිස සමග පිට වී පොලිසියට පැමිණිලි කර ඇත.