සමෘද්ධි බැංකුවලින් කෝටි 12ක් පිල්ලි ගිහින්


(සුජිත් හේවාජුලිගේ )


සමෘද්ධි  බැංකු හා බැංකු සමිතිවල  2014 - 2018 වසර පහේදී සිදුවී ඇතැයි පැවසෙන වංචා සහ  අක්‍රමිකතා  හේතුවෙන්  රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක්  නාස්තිවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ කාලයේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා සංඛ්‍යාව 135කි.

බැංකු මුදල් මෙලෙස අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් දිවිනැඟුම ප්‍රතිලාභීන් සඳහා   මුදල් යෙදවීමට බාධා ඇතිවී තිබු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් 2018 සහ 2019 විගණන වාර්තාවලින් පෙන්වා දී තිබුණද  ඉහළ කළමනාකාරීත්වය ඒවා වළක්වා ගැනීමට නිසි පරිදි කටයුතු කර නැතැයිද  වාර්තාවේ දැක්වේ.

මේ අතර  සමෘද්ධි එෆ්. එම්   අන්තර්ජාල රේඩියෝව වෙනුවෙන් ක්‍රියාත්මක  විකාශන මධ්‍යස්ථානයේ  උපකරණ සහ පාලන මැදිරියේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 23 ක මුදලක් ගෙවා තිබුණද ගිවිසුම් කාලය අවසන්වීමෙන් පසු එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම නතරවී තිබූ බව
විගණන කාර්යාලය පවසයි.

දුගී බව අවම කිරීමේ සංවර්ධන කාර්යයන්ට සහ අඩු ආදායම්ලාභී ජනකොටස්වල උත්සාහයන්ට උරදෙන සන්නිවේදන රටාවක් ගොඩනැගීම මෙම රේඩියෝවේ අරමුණ විය.

අන්තර්ජාල පහසුකම් නොමැති සමෘද්ධිලාභි අඩු ආදායම්ලාභීන්ට මෙවැනි අන්තර්ජාල ගුවන් විදුලි සේවාවකින්  ඵලදායි හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම හැකියාවක් පවතීද යන්න ප්‍රශ්න සහගත බව විගණන වාර්තාවේ  සඳහන් වේ.

මේ අතර සමෘද්ධිය වෙනුවෙන් ඊ පුවත්පතක් එළි දැක්වීම සඳහා 2020 වර්ෂයේදී  ලක්ෂ 53 කට වැඩි මුදලක් වැය කර ඇතත් එම පුවත් පත පරිශීලනය කර ඇති සමෘද්ධිලාභීන් සමෘද්ධිලාභීන් සංඛ්‍යාව පහළොස්  දහස් දෙසිය හැත්තෑ නවයක් බව
පවසන විගණන අංශය  එය මුළු සමෘද්ධිලාභීන්ගෙන් සියයට 0.86ක්  බවද  පෙන්වා දෙයි.