(බිඟුන් මේනක ගමගේ)
මොණරුන්ගෙන් කෘෂිකර්මයට වන හානිය වැළැක්වීමට මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළ යුතු බවට මතුව ඇති මතය මුළුමනින්ම හෙළා දකින්නේ යැයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද(19) පැවැසීය.
වර්ධනය වන සත්ත්ව ගහණය පාලනය කිරීමට ඝාතනය කිරීම යනු මානව කේන්ද්‍රීය චින්තනයේ ප්‍රතිඵලයක් යැයිද එය කිසිසේත් ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේ යැයි ද ආචාර්ය කාරියවසම් මහතා පැවසීය.
සොබාදහමේ තුලිතතාව නැතිවීම නැති වීම මෙම ප්‍රශ්න වලට හේතුව යැයි කී හෙතෙම එය සිදුකරනු ලැබුවේ මිනිසුන් විසින්ම යයි චෝදනා කළේය.
ප්‍රශ්ණයට සැබෑ විසඳුම් සොයනු වෙනුවට ඔටුවන් අලින් හාවුන් ආදී වශයෙන් විවිධ සත්ව වර්ග සමූහ ලෙස ඝාතනය කිරීමට මේ නිසා පෙළඹී ඇතැයි ද එය ස්වභාව දහමේ රීතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමකැයි ද ආචාර්ය කාරියවසම් මහතා චෝදනා කළේය.
මේ ආකාරයටම වගා හානිය වළක්වා ගැනීමට යැයි කියා මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළහොත් මීයන් හා සර්පයන්ගේ ගහණය වර්ධනය වනු ඇතැයිද නැවතත් එහි අනිටු විපාක මිනිසා කරාම පැමිණෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
සොබාදහමේ තුලිතතාව ආරක්ෂා කිරීම සඳහා දිගුකාලීන පියවර ගතයුතු යැයි ද අලි මොණරුන් ඌරන් වැනි සතුන් තුවක්කු අතට ගෙන පාලනය කළ නොහැකි යැයි ද කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වගාවට වන හානි වලක්වා ගැනීම සඳහා මොනරුන් ඝාතනය කිරීමෙන් ප්‍රමාණාත්මක පාලනයක් කළ යුතු යැයි මහාචාර්ය සරත් කොටගම පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

