සබීතා පෙරේරා හෙට ජනාධිපති කොමිසම හමුවට


(තිළිණි ද සිල්වා)

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ප‍්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය හෙට (01) දින ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකයට කැඳවා ඇති බව එම කොමිසම සඳහන් කරයි.

එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙක් ලෙසට  සබීතා පෙරේරා මහත්මිය ගැන කොමිසම හමුවේ කරුණු හෙළි වී ඇති හෙයින් ඇයගෙන් ප‍්‍රශ්න කර  ප‍්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම තීරණය කර ඇත.

ජනාධිපති කොමිසම හමුවේ විභාගයට ගැනෙන නිසි පවරා ගැනීමකින් තොරව නෙවිල් ප‍්‍රනාන්දු රෝහල  සඳහා රාජ්‍ය මුදල් වැය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිල්ලලේ විභාගය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප‍්‍රධාන ගණකාධිකාරී ආර්.ඒ.කේ.ෆොන්සේකා මහත්මිය ද හෙට (01) එම කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට නියමිත බව එම කොමිසම සඳහන් කරයි.

ඒ අනුව එම අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරිය හෙට පෙරවරු 9.30ට එම කොමිසන් සභාවේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සහ එම කොමිසන් සභාවේ සාමාජිකයින් හමුවේ සාක්ෂි ලබා දෙන බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.

තවද එම පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබා ගැනීමට තක්සේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන තක්සේරුකරුද හෙට කොමිසම ඉදිරියේ  සාක්කි ලබා දීමට නියමිත බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙකු පැවසීය.