සබලකරන ලද ආහාර තොගයක් ඕස්ට්‍රේලියාවේන් මෙරටට


(ටී.කේ.ජී.කපිල )

ගංවතුර ආපදා තත්වයෙන් ව්පතට පත් වී දැනට " සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල සහ තවමත් හුදෙකලා " වී සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණ මට්ටම බිද වැටීමට නොදී ස්ථාවරව තබා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු  රජය විසින් " සබලකරන ලද අතිරේක පෝෂණීය ආහාරයක් " ලෙස සකස් කළ විස්කෝතු තොගයක්  අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙට්‍රික් ටොන් 10.02 ක් බරැති   මෙම විස්කෝතු තොගය පළමු තොගය ලෙස 07 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර ඒවා මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල වාසය කරන , දැනට සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල සහ හුදෙකලා වී සිටින ජනතාව අතර බෙදාහැරීමට නියමිතය .

ඕස්ට්‍රේලියානු රජය ලෝක ආහාර වැඩසටහන සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන යටතේ ඕස්ස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.5 ක් වටිනා මෙම විස්කෝතු මෙට්‍රික් ටොන් 70 ක් මෙරටට ලබා දීමට නියමිතය .

 මෙම විස්කෝතු තොගය ඕස්ට්‍රේලියානු රජය විසින් ඩුබායි හි පවත්වා ගෙන යනු ලබන ගබඩාවක සිට අලුයම 06.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත්  ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත පිලිප් වෝඩ් සහ ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ , ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .