සජිත් ප්‍රේමදාස


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු  ප්‍රහාරයෙන් හානියට පත් දේවස්ථාන සහ ඊට අදාළ නිවාස ව්‍යාපෘති සඳහා මුදල්  වෙන් කළේ නැතැයි ඔප්පු කළහොත් විපක්ෂ නායක ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් අස් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

කටුවාපිටියේ නිවාස 14 ක් හදන්න බෝඩ් ගැහුවත් සජිත් ප්‍රේමදාස මහතා එක රුපියලක් වියදම් කර නැතැයි ද මඩකලපුවේ සියොන් දේවස්ථානයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කලත් මුදල් දී තිබුණේ නැතැයි ද නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.

කොච්චි කඩෙි දේවස්ථානය,කටුවාපිටිය දේවස්ථානය,සියොන් දේවස්ථානය හා එහි විපතට පත් අයට නිර්මාණය කළ උදාගම,කටුවාපිටිය විපතට පත් අයට නිවාස ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම, සඳහා වැය කළ මුදල්  සභාවට ඉදිරිපත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.

සියලු මුදල් වැය වැය කිරීම ආරම්භ කළේ තමා සංස්කෘතික ඇමැතිවරයා ලෙස කටයුතු කරන විට බවද ඒ සඳහා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා හොඳම සාක්කිකරුවා බවද විපක්ෂ නායකවරයා කීය.

මෙි සම්බන්ධයෙන් සති පතා බිෂොප් හවුස් එකේදි ප්‍රගති සමාලෝචන රැස්වීම් තිබුණා.ඊට සහභාගී වූ බිෂොප්තුමා ලා දෙදෙනාගෙන් සහ කාදිනල් තුමාගෙන් සභාවට වාර්තාවක්  කැඳවන්න"යනුවෙන්ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.