සංවර්ධන නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ඉල්ලයි


(ඩයනා උදයංගනී)

ඉකුත් 2016 වසරේදී රාජ්‍ය සේවයට එක් වූ සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීම සඳහා 2019 දෙසැම්බර් මස පැවති කාර්යක්‍ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල මේ වන තෙක් නිකුත් කර නොමැති බවට එම නිලධාරීහු චෝදනා කරති.

 සංවර්ධන නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීම සඳහා මෙම විභාගයේ ප්‍රතිඵල අත්‍යවශ්‍ය බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ද සඳහන් කර ඇති අතර වසරකට ආසන්න කාලයක් තිස්සේ එම විභාග ප්‍රතිඵල නිකුත් නොකිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔවුහු පවසති.

එබැවින් තම සේවය ස්ථිර කර ගැනීම ප්‍රමාද වෙමින් තිබෙන බව එම නිලධාරීහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර 2019 දෙසැම්බර් මස පැවති සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් සනත් පුජිත මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ බලපෑ කෝවිඞ්-19 වසංගත තත්වය හේතුවෙන් උත්තර පත්‍ර පරීක්ෂකවරුන් කැදවීම නතර කර තිබු නිසා මෙම ප්‍රතිඵල නිකුත් කිරීම පමා වී ඇති බවය.

මේ වන විට කෝවිඞ් තත්වය පහව යමින් පවතින නිසා යළි  පිළිතුරු පත් බැලීම සඳහා නිළධාරීන් ගෙන්වීම ආරම්භ කළ බව කී විභාග කොමසාරිස්වරයා මේ වනවිට පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ආරම්භ කර ඇති නිසා ඉතා ඉක්මණින් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවේවි යැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.