(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
දරු ප‍්‍රසූතියෙන් පසු කාන්තාවන් වඳභාවයට පත්කළැයි චෝදනා ලත් මොහොමඩ් සාෆි විශේෂඥ වෛද්‍යවරයාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ද, ඔහුව ආරක්‍ෂා කිරීමට ක‍්‍රියා කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ඇඹිලිපිටිය නගරයේ අද (9) විරෝධතාවක් සහ විරෝධතා පෙළපාළියක් පැවැත්විණි.
දේශයේ උතුම් මව්වරුන්ට සාෆි කළ අපරාධයට ජනතා ශාපය ‘ඇඹිලිපිටියේ මාතාවෝ’ යනුවෙන් සදහන් බැනරයක් පෙරටු කරගෙන කළු කොඩි අතැතිව කාන්තාවෝ පිරිසක් පෙළපාළියේ පෙරමුණේ ගමන් කළහ.
ඇඹිලිපිටිය නගරයෙන් ආරම්භ කළ පෙළපාළිය නව නගරයේ සතිපොළ දක්වා පැමිණියේය. 150ත් 200ත් අතර පිරිසක් ඊට එක්ව සිටියහ. සාෆි වෛද්‍යවරයාගේ සහ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ අනුරූ ද පෙළපාලියේ රැගෙන යනු දැකගත හැකිවිය.
පෙළපාළිය අවසානයේ සාෆි වෛද්‍යවරයාගේ අනුරුවේ ගෙලට තොණ්ඩුවක් දා විදුලි කණුවක එල්ලනු ලැබීය. රාජිත සේනාරත්න ඇමතිවරයාගේ අනුරුවට පොලූවලින් සහ පොල් හනසුවලින් පහරදී පසුව ගිනි තබනු ලැබීය.



