ක.ග කරුණාරත්න
පාසැල්වල පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) පොළොන්නරුවේදී පැවසීය.
ශිෂ්‍යත්ව විභාගය නිසා ඊට මුහුණ දෙන දරුවන් සහ ඔවුනගේ මාපියන් ලබන අමිහිරි අත්දැකීම් පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිවරයා මේ කරුණු සැලකිල්ලට ගෙන ඒ විභාගය අහෝසි කිරීීම පිළිබඳව තීන්දුවකට රජය එළඹ තිබෙන බවද කීය.
පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ කායික, මානසික තත්වය දුර්වල කරන දරුවන්ගේ මානසික තත්වය වට්ටන, අම්මලා ලෙඩ්ඩු කරන අම්මලා මානසික රෝගීන් කරන එකක් බවද ජනාධිපතිවරයා කීවේය.
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය ශ්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ පැවසීය.
සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය යටතේ එදා මේ ශිෂ්‍යත්ව විභාග ක්‍රමය ආරම්භ කළේ එතුමා මධ්‍ය විද්‍යාල 50 ක් රටේ ආරම්භ කර ඉතාම දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසුව රජයෙන් ශිෂ්‍යත්වයක් ලබා දීමට බව කීය. එහෙත් අද ජනප්‍රිය යැයි සම්මත පාසැල්වලට දරුවන් ඇතුලු කරවා ගැනීමට දුප්පත් පොහොසත් බේදයකින් තොරව දරුවන් ඊට මුහුණ දෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ රටේ විශ්ව විද්‍යාලවලට ඇතුලුවන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ගෙන් සියයට 14ක් බවත් ඉතිරි සියයට 86 ශිෂ්‍යත්ව විභාගය අසමත් දරුවන් බවද ජනාධිපතිවරයා කීය.
පසුගිය වර්ෂවල ශිෂ්‍යත්ව විභාගය අසමත් දරුවන් තම මාපියන්ගේ තාඩන පීඩනවලට ලක් වූ අවස්ථා සහ එහි ප්‍රතිඵල ලෙස ඇතැම් දරුවන් සිය දිවි නසා ගැනීම්වලට පවා යොමුවූ බව වැඩි දුරටත් පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යුත්තේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම බවද පැවසීය.

