ශ්‍රීලනිපය විමසිල්ලෙන්


(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය අධ්‍යයනය කර ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහගමසේකර මාවතේ හිටපු ජනාධිපති නිල නිවසේ ඊයේ (18) රාත්‍රී පැවති ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

ජනාධිපතිවරණය සමයේ පක්ෂ සභාපති ධූරයෙන් ඉවත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත එම තනතුරට පත්කිරීමට ද දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ගත් තීන්දුවට පිටින් යමින් වෙනත් අපේක්ෂකයන්ට සහය දීමට එක්වූ ආසන සංවිධායකයන් ඉවත් කර තම සංවිධායකයන් පත්කිරිමටත්, වෙනත් අපේක්ෂකයන්ට සහාය දුන් සංවිධායකයන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

මේ අතර, නව සංවිධායකයන් පත්කිරිම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කමිටුවක් ද පත්කර ඇත.