(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු ආරම්භ කර ඇතැයි එහි හිටපු වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පත්කර තිබිණි.
මේ වන විට ජනාධිපතිවරණය නිමා වී ඇති බැවින් හා නව ජනාධිපතිවරයෙක් පත්ව සිටින බැවින් යළිත් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ සභාපති ධූරයේ කටයුතු කරන බව ද මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
ඒ අනුව තමන් ද යළිත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙස පෙර සිටි තනතුරේම කටයුතු කරන බව රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා කීවේය.

