
(රංජිත් රාජපක්ෂ)
2025 - 2026 ශ්‍රී පාද වන්දනා වාරයෙදි හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන් සහ දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටුපහණෙන් ඉහළට කරුණා කිරීමට සිමාවන් පනවා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමිර ගම්ලත් මහතා පැවසීය.
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය කරුණා කරන දෙස් විදෙස් වන්දනාකරුවන්ට පවතින අයහපත් කාළගුණය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ ප්‍රධාන කාර්යාලයේ භූ විද්‍යාඥයන් පිරිසක් පැමිණ සිදු කළ පරික්ෂණයකින් අනතුරුව නිකුත් කර ඇති නිර්දේශ අනුව 2025 - 2026 ශ්‍රී පාද වන්දනා වාරය පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමිර ගම්ලත් මහතා පැවසීය.
හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් ඉදිකටු පහණ පොලිසිය අසළින් මීටර් 600ක් පමණ එපිටින් වූ රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රී පාදස්ථාන උඩමළුවට පිවිසීමට අවස්ථාව ලැබෙන බව එම නිවේදනයේ සදහන් කර ඇත.

