ශ්‍රී ලන්කන් ගුවනට නව සාමාජිකයෙක්


(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා හිගයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය එයාර් බස් ඒ. 320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර, එම ගුවන් යානය මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (21) සවස රැගෙන විත් තිබේ .

4 ආර් - ඒ බී එස් (4 R - ABS) යන අනුක්‍රමනික අංකය යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, අවශ්‍ය පින්තාරු කටයුතු සහ අනෙකුත් සේවා පහසුකම් ස්ථාපිත කිරීමෙන් කටුනායක සිට මාළදිවයින බලා ප්‍රථම මංගල ගුවන් ගමන එළඹෙන 29වන දින පිටත්ව යාමට නියමිතය .

ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුතු මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 138 ක් තිබේ .

මෙම නව  ගුවන් යානය ඉන්දීය උප මහාද්වීපය, ඈත පෙරදිග සහ මැදපෙරදිග ගුවන් කළාප වෙත සිය ගුවන් මෙහෙයුම් කටයුතු එක් කිරීමට නියමිතය .

මෙම නව ගුවන් යානය මිළදී ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය  සතුව පටු බද සහිත ගුවන් යානා 12 ක් සහ පුළුල් බද සහිත ගුවන් යානා 10 වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු  සමස්ථ ගුවන් යානා සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.