ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව චෝදනා ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විවාදය හා ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබේ.
යෝජනාව පරාජය කිරීමට නම් ශ්‍රී ලංකාව සාමාජික රටවල් 47ක් අතුරින් 24ක ඡන්දය දිනාගත යුතුය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 25 වනදා රටවල් 38ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිළි කළේය.
එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය,බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළකර තිබුණි.
කෙසේ වෙතත් චීනය, පකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව, කියුබාව, ලාඕසය, වියට්නාමය, පිලිපීනය ඇතුළු රටවල් 21ක් අදහස් පළ කර තිබුණේ මහ කොමසාරිස්වරියගේ වාර්තාවට එකඟ නොවන ස්ථාවරයක සිටිමින් ශ්‍රී ලංකාවට පක්ෂවය.
ජපානය සහ අසල්වැසි ඉන්දියාව මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමින් එහිදී අදහස් පළකිරීම විශේෂත්වයකි.
( තිළිණි ද සිල්වා )

