
(ලක්ෂ්මී ජයකොඩි)
ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ගැටලුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලයට එහා ගිය ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක පොන්නම්බලම් ගජේන්ද්‍රකුමාර් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය වෙත අවධාරණය කර ඇත.
පොන්නම්බලම් ගජේන්ද්‍රකුමාර් මහතා හා හනා සිංගර් මහත්මිය අතර කොළඹදි පැවති සාකච්ඡාවේදි ඔහු මේ බව අවධාරණය කර තිබේ. මෙහිදි වත්මන් දේශපාලන වතාවරණය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
පොන්නම්බලම් ගජේන්ද්‍රකුමාර් මහතා හනා සිංගර් මහත්මිය හමුවේ පහත දැක්වෙන අදහස් පවසා ඇත.
ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන ජන සංහාර ඇතුළු අනෙකුත් සියලු මානව හිමිකම් කඩවීම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වගවිය යුතුය. කිසිඳු ආණ්ඩුවකට එයින් බේරි යා නොහැකිය. වගවිමකින් තොර සංහිදියා ක්‍රියාවලියක් සාර්ථක වන්නේ නැත. මෙම කාරණය ඔබ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත අවධාරණය කළ යුතුය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාර්ථක වනු ඇතැයි යන විශ්වාසයක් අපට නැත. එවැනි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැණුනද එකම රටක් එකම නීතියක් යැයි පවසන කණ්ඩායමක් විසින් සකස් කෙරෙන එම ව්‍යවස්ථාව මගින් එක්සත් ශ්‍රී ලංකාවක දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර විසදුමක් ඇතුළත් නොවනු ඇති බව ස්ථිරවම කිව හැකිය.
එසේ තිබියදි ශ්‍රී ලංකාවේ සිදුවු මානව හිමිකම් කඩවීම් වලට යුක්තිය සාධාරණය ඉටු කර ගැනීම යන කාරණය තවදුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලයේ රඳවා ගැනීමෙන් ඵලක් ලැබෙන්නේ නැත. එබැවින් මෙම ගැටලුව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතුය.
ශ්‍රී ලංකාව මාරුවෙන් මාරුවට කවර ආණ්ඩු පාලනය කරනු ලැබුවද ඒ කිසිඳු ආණ්ඩුවකට වගවීම පිළිබඳ හැඟීමක් නැත්තේය. එය පසුගිය වසර දහයක කාලයේදි මනාව ඔප්පු වී ඇත.එබැවින් අපගේ මෙම ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් හා ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරමින් සිටින්නෙමු.

