ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (30) පැවසීය.

"ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් හරණයක් කරන්න සිදු වේද" යන මැයෙන් විකල්ප මග සංවිධානය සීදුව ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහනකදී පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයේ ශක්තිමත් නිසා ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස ඩොලරයේ ආධිපත්‍යය අඛණ්ඩව පැවතුණ බවත් නමුත් මේ වන විට ඩොලරයට අභියෝගයක් එල්ල වී ඇති බවත් ඒ මහතා කීය.

මෑතකදී චීනය සහ ඉන්දියාව වැනි රටවල් ආර්ථික බලවතුන් ලෙස නැගී සිටිමින් ඇති බවත් චීනය, රුසියාව ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් රටවල ලෝක ජනගහනයෙන් සියයට 40 ක් නියෝජනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

එය විශාල වෙලඳපල කොටසක් මෙන්ම  ගෝලීය දළ ජාතික නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් පමණ  බ්‍රික්ස් රටවල සිදුවන බවත් බ්‍රික්ස් රටවල් ඔවුන්ගේම ජාත්‍යන්තර  මුදල් ඒකකයකට යෝජනාවක් ගෙන හෙමින් තිබෙන බවත් ජයගොඩ මහතා පැවසීය.

චීනය හා ඉන්දියාව අතර පවතින දේශපාලන ප්‍රතිවිරෝධය හේතුවෙන් එය තවමත්  යථාර්ථයක් වී නැති අතර ශ්‍රී ලංකාවට  ආනයන කිරීමේදී වැඩිපුරම ආනයනය කරන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන් නිසා චීන යුවාන්,  ඉන්දියානු රුපියල්, රුසියාවේ රූබල් වැනි මුදල් එකක සමග ජාත්‍යන්තර වෙළඳාම කළ හැකි නම් පහසු වන බවත් ශ්‍රී ලංකාව අපනයන ප්‍රධාන වශයෙන්ම  ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපා යන රටවලට කිරීම නිසා ඩොලරයෙන් ඉවත්වීම පහසු නොවන බවත් ඒ මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාව හදිසියේ ඩොලර්හරණයකට ගියහොත් ඇඟලුම් තේ, රබර් වැනි අපනයනවලට බාධක පැමිණවීමට ඉඩ ඇති බව කී පුබුදු ජයගොඩ මහතා ඩොලරයේ ආධිපත්‍යයෙන් මිදීමේ වැඩපිළිවෙලකට යා යුත්තේ මෙරට අපනයන ආර්ථික ව්‍යුහය වෙනස් කරන දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙලක්  සමග බව ද සදහන් කළේය.

එහිදී ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත ප්‍රකාශ කළේ මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීම සදහා අනිවාර්යෙන්ම ඩොලර් හරණය කළ යුතු බවය.

ඒ අනුව ඩොලර් හරණයේ සැලැස්ම විය යුත්තේ විනිමය පියවීම රූබල් මුදල් ඒකකය හරහා සිදු කිරීම බවද ඔහු සදහන් කළේය.

රූබල් මුදල් ඒකකය අනුමත කරන ලෙස රුසියාව වසර ගණනාවක සිට මෙරටින් ඉල්ලීම් කළද පැවති කිසිදු රජයක් ඊට ප්‍රතිචාර නොදැක්වීම කණගාටුවට කරුණක් බවත් එය ආර්ථිකයට දැඩි බලපෑමක් බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.