වෛද්‍යවරුන් ඉසිඹු යන වයස අධිකරණය දන්වයි


 

(රංජන් කටුගමිපොළ)

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියළු රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 63ක් බවට නියෝග කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් අද නිකුත් කළේය.

ඊට අමතරව රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 60ක් වන බවට නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරමින් රිට් ආඥාවක් ද අධිකරණයෙන් නිකුත් කෙරිණි.

අභියාචනාධිකණය මෙම රිට් ආඥාව නිකුත් කළේ  රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස  අවුරුදු 60 බවට නියෝග කරමින් ගොනු කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම තීන්දුව නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් දක්වා නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයේ ගොනුකර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ද රොමේෂ් සිල්වා සහ සංජීව ජයවර්ධන මහත්වරු පෙනී සිටියහ.