( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරියන් ශල්‍යකර්ම සිදුකිරීමට ශල්‍යාගාරයට යාමට පෙර විෂබීජ හරණය කළ ඇඳුම් ඇඳගන්නා කාමරයේ ජංගම දුරකථනයක් සවිකොට එය සූක්ෂමව වීඩියෝ ගත කළ රෝහල් කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර ජාතික රෝහලේ ඇස්, කන්,නාස් (ENT) පිළිබඳ ශල්‍යාගාරයේ සැත්කම් වලට සහභාගී වන වෛද්‍යවරියන් විෂබීජ හරණය කළ ඇඳුම් ඇඳ ගන්නා ස්ථානයේ රහසිගත ස්ථානයක එම රෝහල් කම්කරුවා එසේ තම ජංගම දුරකථනයේ වීඩියෝ රෙකෝඩරය ක්‍රියාත්මක කොට සඟවා තබා වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන ආකාරය වීඩියෝ ගත කොට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
ශල්‍ය කර්මයකට සහභාගි වීම සඳහා වෛද්‍යවරියක් ඇඳුම් මාරු කරන අවස්ථාවේදී ඇඳුම් මාරු කරන කාමරය තුළ ජංගම දුරකථනයක් තිබෙනු දැක එය පරීක්ෂා කිරීමේදී එහි වීඩියෝ රෙකෝඩරය ක්‍රියාත්මක වනු දැක එය පරීක්ෂා කිරීමේදී එම වෛද්‍යවරිය ඇඳුම් මාරු කරන ආකාරය එහි පටිගත වී තිබෙනු දැක ඇය එය මකා දමා ඒ පිළිබඳව රෝහල් පරිපාලනයට පැමිණිලි කොට තිබේ .
සැකකාර රෝහල් කම්කරුවා සහ ජංගම දුරකථනය මහනුවර මූලස්ථාන පොලිසියට බාර දීමෙන් පසු ඔහු පොලිසියට පවසා ඇත්තේ සුරූපී වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන ආකාරය දැනට කාලයක සිට ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකොට ඇති බවත් පසුව එය නරඹා මකා දමන බවත්ය .

