වේවැල්දෙණියේ පන්සලක හිමිවරුන් 3කට කොරෝනා


(ආනන්ද ඉ ජයකොඩි සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

වේවැල්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයට අයත් වේවැල්දෙනිය ශ්‍රී බෝධි මළුව විජයානන්දාරාමයේ නේවාසික භික්ෂූන් වහන්සේලා තුන් නමකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද (12) පෙරවරුවේ පැවසීය.

මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල ඊයේ (11) කරන ලද රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂණ වලදී එම භික්ෂූන් වහන්සේලා තුන් නමට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බවද හෙතෙම සඳහන් කළේය.

එම භික්ෂූන් වහන්සේලා තුන් නම ඇතුළුව පසුගිය සති තුන ඇතුළත වේවැල්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයෙන් කෝවිඩ් 19 වෛරසය ආසාදිතයින් තිස් දෙනෙකු අලුතින් හමු වී ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

වේවැල්දෙනිය කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ඒ ඩී ඇස් ලංකාතිලක මහතා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් එම  මහාරස්ථානය ඇතුළුව අලුතින්  වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින් සිටින අනෙකුත් නිවාස සියල්ලම මේ වනවිට නීරෝධායනය  කර ඇති බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයා කීය.