(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන ගණකාධිකාරීවරයා එහි අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කිරීමට පත් කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
එලෙස කටයුතු කිරීමේදී බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වන බව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එහිදී පෙන්වා දුන්නේය.
මේ අතර අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ හැර යන ලක්ෂ 5 ක පමණ පිරිසෙන් වෘත්තීය පුහුණුව සඳහා අවස්ථාව ඇත්තේ එක් ලක්ෂ පන්දහසකට පමණක් බවද මෙහිදී තොරතුරු අනාවරණයවිය.
මේ සියලු ප්‍රශ්න ගැන සොයා බැලීමට සහ අධීක්ෂණය කිරීමට අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු නොමැතිවීමද කෝප් කමිටුවේ අවධානය යොමුවිය.
වෘත්තීය පුහුණු අධිකාරියේ 2017 සහ 2018 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාවේ මතු කර ඇති ගැටලු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
අධිකාරියේ පනත බොහෝ පැතිවලින් අසම්පූර්ණ බව පෙනී යන බැවින් ඉදිරි මාස 03 ක කාලයේදී පනත සමාලෝචනය කර ඒ පිළිබද ප්‍රගති සමාලෝචනයක් සති දෙකක කාලයකින් ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේය.
වෘත්තීය පුහුණු අධිකාරියට පැවරී ඇති වගකීම් ක්‍රියාත්මක කිරීමේ ගැටලු සම්බන්ධයෙන්ද මෙම කමිටුවේදී සාකච්ඡා විය. පාඨමාලා සංවර්ධනය සදහා යොදා ගන්නා පර්යේෂණ යල් පැන ගිය ඒවා බවද තොරතුරු අනාවරණය විය. ජාත්‍යන්තර රැකියා වෙළඳපොළේ පවතින ඉල්ලුම අනුව මෙහි පාඨමාලා සකස් විය යුතු බව රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
ඉදිරියට යන ලෝකයට ගැළපෙන පරිදි පාඨමාලා හා විෂයමාලා සංවර්ධනය සහ වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතු බව කමිටු සාමාජිකයෝ මෙහිදී අවධාරණය කළහ.
මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන ජානක වක්කුඹුර, ජගත් පුෂ්පකුමාර, ගරු ලොහාන් රත්වත්තේ, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර, එරාන් වික්‍රමරත්න, . සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, මේජර් සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු සහභාගී වූහ.

