(හර්ෂණ තුෂාර සිල්වා)
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් බිහි කිරීමට රාජ්‍ය නායකයා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සකස් කළ වාර්තාව අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්විණි.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එම වාර්තාව ජනාධිපතිවරයා පිළිගැන්වීය.
විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
ජාතික ප්‍රතිපත්ති විශේෂයෙන්ම ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් අදාළ වාර්තාව සකස් කර තිබෙන අතර ඊට ඇතුළත් විය යුතු පරිච්ඡේද මොනවාද යන වගද මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.
ලොව අනෙකුත් රටවල ආණ්ඩු මාරු වීමත් සමඟ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් නොවෙන බවත් ඊට හේතු වී ඇත්තේ එම රටවල ජාතික ප්‍රතිපත්ති බිහි කර ඒ අනුව ක්‍රියාත්මක වීම බවත් මෙම කර්තව්‍යයේ අරමුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවැසීය. රටක ස්ථාවරභාවයට සහ දියුණුවට එය අත්‍යවශ්‍ය සාධකයක් යැයි ද හෙතෙම කීය.
ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 72ක් ගෙවී ගිය ද මෙතෙක් කිසිදු ජාතික ප්‍රතිපත්තියක් බිහි වී නැති බව ද හෙතෙම එහිදි කීය.
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)





