(රන්න චන්ද්‍රසේන ගමගේ)
දැනට බල පැවැත්වෙන රජයේ සහතික වී මිල ඉදිරි දින කිහිපයේදී ඉහළ දැමීමට කුටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (01) දින වලස්මුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී පැවසීය.
වලස්මුල්ල ගොවිජන බල ප්‍රදේශයේ ග්‍රාමීය ගොවීන් සඳහා දෙමුහුන් ගම්මිරිස් පැල ලබා දීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඇමතිවරයා එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා මෙසේද පැවසීය. ‘මේ රටේ වී ගොවියාට යම් සහනයක් ලබා දීමේ අරමුණ ඇතිව වී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදි වී අලෙවි මණ්ඩලය විසින් ගෙවන ලද මිල ඉදිරි දින කිහිපයේදි ඉහළ දැමීම සදහා මේ වනවිට තමන් ගරු අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් යනවා. එමෙන්ම සහතික වී මිල ඉහළ දැමීම සඳහා ජනාධිපතිතුමාගේ කැමැත්ත ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරිදින කිහිපයේදී සහතික වී මිලේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
වි මිල ඉහළ ගියද මෙ රටේ පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම කෙරෙහිත් ආණ්ඩුව මැදිහත් වෙන බව සදහන් කළ යුතුයි. ඉතිහාසයේ පලමු වරට වි අළෙවි මණ්ඩලය මගින් මිලදි ගනු ලැබූ වී සහල් බවට පත් කොට පී.එම්.බී රයිස් නමින් පසුගිය දා අපි වෙළෙඳපළට නිකුත් කළා.
මීට වසර 25ට පමණ පෙර අපේ අපනයන ක්ෂේත්‍රය තුළ කෘෂිකර්මාන්තයට සියයට 29 ක පමණ පංගුවක් හිමිව තිබුණා. එය ක්‍රමයෙන් අඩු වී ගිය අවුරුද්ද වෙනකොට එය සියයට 7.9 දක්වා අඩු වී තිබුණා. කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් මම මේ තත්වය වෙනස් කිරීම සඳහා පියවර ගනිමින් සිටිනවා. ඉදිරියේදී මෙරට ජාතික ආදායමෙන් වැඩිපංගුව කෘෂි ක්ෂේත්‍රයෙන් ලබාදීමටත් අපනයන ක්ෂේත්‍රයේ වැඩිපංගුව කෘෂිකර්මාන්තයෙන් ලබා දීමටත් කටයුතු කරනවා. මෙරට වගා කළ හැකි කිසිඳු භෝගයක් ආනයනය කිරීමට රජය කිසිඳු සහනයක් ලබා නොදෙන බවත් ඒවාට දැඩි කොන්දේසි පනවනවා මෙන්ම ඉහල බදු අය කරන බවද මෙහෙදී සිහිපත් කළ යුතුයි.‘‘ යැයි පැවසීය.



