වී මිල ගැන නිල ප්‍රකාශයක්


(සුජිත් හේවාජුලිගේ)

රජය වී කිලෝවක්   ගන්නා  මිල  කෘෂිකර්ම අමාත්‍යාංශයේදී  අද(05) උදේ 11.00 ට  පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  නිල  වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

මෙම නව මිල හඳුන්වා දෙන්නේ වී කිලෝවක නිෂ්පාදන වියදමට සියයට තිහක් එකතු කිරීමෙන්  බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවීන් වෙනුවෙන්  වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් කෙරුණු සටන් පාඨය මෙමගින් යථාර්ථයක් බවට පත්කෙරෙන බවද ප්‍රකාශ කළේය.

එසේම රජය වී මිලදී ගැනීමටද  කටයුතු කරගෙන යන බවත්   ඒ සඳහා රුපියල් කෝටි 500ක් දැනටමත් වෙන්කර ඇති බවත් කරුණාරත්න මහතා පැවසීය.

වී මිලදී ගැනීම සඳහා සමස්ත ගබඩා වලින් සියයට 75 ක් සූදානම් කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වී වලින් කොටසක් සහල් බවට පත්කර ජනතාව අතරට බෙදා හැරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

දැනට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී කිලෝවක්  මිලදී ගන්නේ රුපියල් 85ත් 110ත් අතර මිලකටය.

දැනට වී ගන්නා මිල ගණන් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල  ගොවීහු සහ  ගොවි  සංවිධාන කාලයක සිට මැසිවිලි නගති.