වී මල්ලට කළහ කළ බාප්පාගේ පිහි පහරින් ඥාති පුතා මරුට


(චන්ද්‍රසේන ගමගේ)

 

වී මල්ලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කර ගනිමින් තම වැඩිමහල් සහෝදරයා ගේ නිවසට ගොස් ගැටුමකට සම්බන්ධ වූ බාල සහෝදරයා එල්ල කරන ලද  පිහි පහරකින් වැඩි මහල් සහෝදරයාගේ වැඩි මහල් පුත්‍රයා මිය ගොස්  තිබූ  බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

තම බාප්පාගේ පිහි පහරින් බරපතල තුවාල ලබා මිය ගොස් තිබුණේ බෙලිඅත්ත තාරපේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 20 වැනි වියේ පසු වූ මද්දුම කංකාණම්ගේ සචීන් රවීෂ නම් තරුණයෙකි.

මිය ගිය තරුණයා අසල තිබූ වැඩපළක සේවය කර නිවසට එන අතර තුරදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

මිය ගිය තරුණයාගේ පියා සමඟ ඔහුගේ බාල සොහොයුරා ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් ඒ අතර තුරදී බාප්පා විසින් එල්ල කරන ලද පිහි පහරවල් වලින් තරුණයා බිම වැටී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය පවසයි .තුවාල ලැබූ තරුණයා රෝහලට රැගෙන යන අතර තුරදී මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.

මිය ගිය තරුණයාගේ සිරුර බෙලිඅත්ත දිසා රෝහලේ තැන්පත් කර තිබුණු අතර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සදහා සිරුර තංගල්ල මූලික රෝහලට යැවීමට නියමිතව තිබුණි.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (9) දහවල් සිදු කිරීමට නියමිතව තිබුණි.

සැකකාර  බාප්පා බෙලිඅත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබූ අතර ගැටුම අතර තුරදී ඔහුට සිදුව තිබූ සුළු තුවාල කිහිපයකට ප්‍රතිකාර ලබා දීම සදහා සැකකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.