වී ගන්න පණ දෙන්න ’’ඔඩපණ’’ එයි


(අංජුල මහික වීරරත්න)

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන්ට මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා “ඔඩපණ” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්  පරිදි මෙම පියවර ගෙන තිබෙන්නේ යැයිද  මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වෙතින් මෙම ණය පහසුකම සපයා දී ඇතැයි ද තෙන්නකෝන් මහතා කීය.

ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, රජිත්  සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී  තෙන්නකෝන් මහතා මේ බව කීය.

අදාල ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන නවයක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් කෝටි පහක් ද  වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් කෝටි දෙකහමාරක ද උපරිම ණය මුදලක් ලබාදෙනු ඇතැයි තෙන්නකෝන් මහතා කීය.

ණය ආපසු ගෙවීමට දින 180ක කාලසීමාවක් හිමි වේ.  15%ක් වන වාර්ෂික පොලී අනුපාතයෙන් 4%ක් මහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත ලබා දෙනු ඇත. ඒ අනුව අදාළ ණය ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ 11%ක වාර්ෂික පොලී අනුපාතයක් පමණක් බව තෙන්නකෝන් මහතා පැවසීය.