වී අලෙවි මණ්ඩලයේ සහල් කිලෝව රුපියල් 5කින් අඩු කරයි


 

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය අලෙවි කරන සෑම සහල් කිලෝවක්ම අද (16) සිට රුපියල් 5කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉදිරියේදී වෙළඳපොළ තත්ත්වය සලකා බලා තවදුරටත් සහල් මිල අඩු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ද පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම හෙට (17) දින සිටම ආරම්භ කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා  නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයි  කීය.

 මේ වනවිට වෙළඳපොළේ වී කිලෝවක මිල රුපියල් 90කටත් වඩා අඩු වී ඇති බවට ගොවි ජනතාව මැසිවිලි නඟන බව කී අමාත්‍යවරයා එම කාරණය සැලකිල්ලට ගනිමින් ගොවීන්ගේ වී නිෂ්පාදනවලට උපරිම මිලක් ලබාදීම සඳහා වී අලෙවි මණ්ඩලය මැදිහත්වන බවත්, පළමු අදියර යටතේ රුපියල් මිලියන  2000ක් වැයකර වී මෙට්‍රික් ටොන් 30,000ක් මිලදී ගැනීමට අපේක්ෂිත බවත් පැවසීය.

සහල් නිෂ්පාදකයින් විසින් ගොවීන්ගෙන් වී කුණු කොල්ලයට මිලදී ගැනීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.