විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ දීමනාව ඉහළට


(නාලක සංජීව දහනායක)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙවර අයවැය මගින් යෝජනා කළ පරිදි විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සදහා මාසිකව ලබාදෙන දීමනාව රුපියල් 2,000කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
 
මෙම දීමනාව ලබන මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් මෙතෙක් ලබාදුන් රුපියල් 3,000 දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ යන බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
 
සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 32,000ක් පමණ ලියාපදිචිව සිටින අතර තවත් පුද්ගලයන් 40,000 ක් පමණ ලියාපදිංචිය අපේක්‍ෂාවෙන් සිටින බවද අමාත්‍යංශය සදහන් කරයි. එම පිරිසද ඇතුළුව විශේෂ හැකියා සහිත පුද්ගලයන් 72,000 ටම මෙම දීමනාව ලබාදීමට අමාත්‍යංශය තීරණය කර ඇත.
 
මේ සදහා රුපියල් මිලියන 4350ක මුදලක් වෙන්කර ඇති අතර එම ගෙවීම් සදහා අනුමැතිය ලබාදෙන චක‍්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය වෙත පෙරේදා (11) නිකුත් කර තිබේ.