විශ්වාසභංගයට සහය‍ දෙන්නේද නැද්ද මෙතෙක් තීරණයක් ගෙන නෑ


(ඩයනා උදයංගනී)

 ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දෙන්නේ ද නැද්ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේය.

විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්‍ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව පෙනීයන්නේ යැයි ද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වගකීමෙන් යුතුව තීන්දුවක් ගන්නා බව ද ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඡායාරූප - ගයාන් අමරසේකර