
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ රාජකීය ‘යුනයිටඩ් ෆෝ වයිල්ඩ්ලයිෆ්’ පදනම එක් වී, නිෂ්පාදනය කළ ‘ගාඩියන්ස්’ (සොබදහමේ ආරක්ෂකයන්) නමැති කථාංග හයකින් යුත් රූපවාහිනී වාර්තා වැඩසටහන් මාලාව මේ වනවිට විකාශය ආරම්භ කර ඇත. මෙම වාර්තා වැඩසටහන් මාලාවට, ශ්‍රී ලංකාව පාදක කරගත් කතංගයක් ද ඇතුළත් වීම විශේෂත්වයකි.
‘ගාඩියන්ස්’ වාර්තා වැඩසටහනට පාදක වන්නේ විවිධ රටවල සතුන් වෙනුවෙන්, සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු, දිවි පරදුවට තබා රාජකාරි කරන වනජීවී නිලධාරීන්, පශු වෛද්‍යවරුන්, සත්ව අයිතින් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් පිළිබඳවය.
තිරයෙන් පසුපස නිහඬ මෙන්ම, ඉතා වැදගත් සේවයක් ඉටු කරන මෙම පිරිස ඇගයීමට ලක් කිරීම ‘ගාඩියන්ස්’ වාර්තා වැඩසටහන් මාලාවේ අරමුණ යැයි විලියම් කුමරු වැඩසටහන පිළිබඳ හැඳින්වීමක් කරමින් පවසා ඇත.
‘ගාඩියන්ස්’ වාර්තා වැඩසටහනේ ශ්‍රී ලංකාවට අදාළ කථාංගය එලැඹෙන ජූනි 20 වැනිදා විකාශය වීමට නියමිතය. එම කතාංගයට මෙරට අලි ඇතුන්, දිවියන් ඇතුළු වෙනත් වන ජීවීන් පුනරුත්ථාපනය සඳහා වෙහෙසෙන පශු වෛද්‍යවරුන් නව වන වනජීවී නිලධාරීන් පමණක් නොව, මෙරට අලි මිනිස් ගැටුම ද පාදක වන බව පැවැසෙයි.
‘ගාඩියන්ස්’ කතා මාලාව, බීබීසී අර්ත් නාළිකාවේත්, බීබීසී යූටියුබ් නාළිකාවලත් විකාශය වීම ආරම්භ කළේ ඉකුත් 23 වැනිදා සිටය.
හිමාලයේ හිමෙන් වැසුණු කඳුකරයේ සිට, බ්‍රසීලයේ මහා ඇමසන් වැසි වනාන්තර දක්වා ජෛව විවිධත්වය මෙන්ම පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ වැදගත්කම සහ ඊට සම්බන්ධ වන වනජීවී නිලධාරීන්ගේ මෙහෙවර ‘ගාඩියන්ස්’ හරහා කතාබහට ලක් වන්නේ, ඔවුන් වීරයන් ලෙස ලොවට පෙන්වා දෙමිනි.
‘ගාඩියන්ස්’ කතා මාලාව, විලියම් කුමරුන්ගේ අදහසකට අනුව, නිර්මාණය වූවකි. වැඩසටහනේ හඬ කැවීම් කටයුතුවලට විලියම් කුමරු ද සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.

