විමුක්ති


(විමුක්ති එස් රුද්‍රිගු)
එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් සහ කොළඹ දක්වා ගුවන් ගමන් සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවන බව ඉකුත් 3 වෙනිදා නිවේදනයක් නිකුත් කරමින් එරෝෆ්ලොට් ගුවන් සමාගම ප්‍රකාශ කළේය.
එරෝෆ්ලොට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එරෝෆ්ලොට් ගුවන් සමාගම පැවසුවේය.

රුසියාවට නැවත පැමිණීමේ ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන කොළඹ රැඳී සිටින ගුවන් මගීන් වෙනුවෙන් ඉකුත් දෙවැනිදා,පෙරේදා(04) සහ ඊයේ(05) කොළඹ සිට මොස්කව් වෙත ගුවන් වාර ක්‍රියාත්මක වුවත් එම මගීන් රැගෙන යාමට පැමිණෙන ගුවන් යානා කාර්ය මණ්ඩලය සමග පමණක් පැමිණෙන බවත් නව ගුවන් මගීන් රැගෙන ඒමක් සිදු නොකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇත.ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේද රුසියාවයි.

පසුගියදා අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේය.රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.