
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු කාර්ය මණ්ඩලයේ දීමනා ඉහළ දැමීමේ යෝජනාවට සමඟි ජනබලවේගය ඇතුළු විපක්‍ෂය මන්ත්‍රීවරු රැසක් විරෝධය දැක්වීමෙන් නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට මහ සභාව විනාඩි 5 ක් කල්තැබීමට අද (10) සිදුවූවාය.
කොළඹ මහ නගර සභාවේ දෙසැම්බර් මස මහ සභා රැස්වීම කොළඹ 7, පිහිටි නගර ශාලාවේ සභා රැස්වීම් ශාලාවේදී අද (10) පැවැත්විණි.
මුදල් කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසුව මහ සභාවට ඊයේ (10) ඉදිරිපත් කළ අවස්ථාවේදී එම යෝජනාවේ අඩු පාඩු තිබීම නිසා ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නොවේ නම් බෙදීමක් අවශ්‍ය බවත් සමඟි ජනබලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර දර්ශන ද සිල්වා මහතා පැවසීය. “වරිපනම් ආදායම් උත්පාදනය කාර්යයේදී තක්සේරු ප්‍රතිශෝධන කටයුතු කිරීම සඳහා 2-014 වර්ෂයේදී අනුමත දීමනාව කාලීනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තක්සේරු කාර්ය මණ්ඩලය විසින් එම දීමනාව වැඩි කිරීම සඳහා කරනු ලබන යෝජනාව” යැයි මුදල් කමිටුවේ කොටක් ලෙස ස්ථාවර කමිටු වාර්තාවලින් උපුටාගත් කොටස් සළකා බැලීමේ අවස්ථාවේ 141 වැනි කොටස ලෙස සභාව කාරක සභාවක් බවට පත්වූ අවස්ථාවට නගරාධිපතිනිය ඉදිරිපත් කළාය.
එහිදී නැඟීසිටි සමඟ ජනබලවේගයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා පැවසුවේ පාලක ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන සියලුම යෝජනාවට අත ඉස්සිය නොහැකි බවත් මෙම දීමනා ඉහළ දැමීමේ යෝජනාව වසර ගණනාවක් සඟවාගෙන සිටි යෝජනාවක් බවත්ය.
නගර සභාවේ සේවකයන්ට දීමනා වැඩි කිරීමට විපක්‍ෂය විරුද්ධ නොමැති අතර එම යෝජනා නැවත නාගරික මන්ත්‍රීවරුන්ට ගැටලුවක් නොවන ආකාරයට ඉදිරිපත් කළ යුතු බවත් රෝයි බෝගහවත්ත මහතා කීය.
උප නගරාධිපති හේමන්ත කුමාර සහ මන්ත්‍රී ටෝනි රම්සි යන මහත්වරු එම යෝජනාවට පක්‍ෂව අදහස් දක්වමින් සංශෝධනවලට යටත්ව සම්මත කරන ලෙස යෝජනා කළහ.

