විපක්ෂයෙ හුස්මෙන් කුරුණෑගල රෝහලට ලක්ෂ 64 උපකරණ


(නිමල කොඩිතුවක්කු)

රෝහල් සඳහා සෞඛ්‍ය උපකරණ ප්‍රදානය කෙරෙන සමගි ජනබලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන යටතේ ලක්ෂ හැට හතරක රෝහල් උපකරණ කුරුණෑගල රෝහලට පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පක්ෂ නායක කාර්යාලයේ දී අද සිදු කෙරිණ.

සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 15වන පියවර මෙයයි.

එහිදී එකක් රුපියල් 450,000ක් වටිනා මල්ටිපැරා මොනිටර්ස් තුනක් ද, එකක් රුපියල් 1,350,000ක් වටිනා Optiflow Nasal Therapy දෙකක්ද, රුපියල් 1,200,000 වටිනා CPAP/BIPAP යන්ත්‍රයක් ද, රුපියල් 1,200,000 වටිනා Highflow Oxygen යන්ත්‍රයක් ද, රුපියල් 100,000 වටිනා Pulse Oximeter ද කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මෙහිදී රුපියල් 1,350,000 වටිනා Optiflow Nasal Therapy යන්ත්‍රයක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන සමගි ජන ලවේගයේ ඔස්ට්‍රේලියානු මෙල්බර්න් ශාඛාව ප්‍රදානය කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාව සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, නලීන් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන, ජේ. සී අලවතුවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.