
(සුමිත් පොතුපිටිය)
ලොරි රථයක ගැටී වැන් රථයේ සිරවූ පුද්ගලයකු යකඩ දම්වැල් සහ ගල් ඉනි උපයෝගී කරගනිමින් විනාඩි 30 ක මෙහෙයුමකින් බේරාගැනීමට අද රාත්‍රියේ වස්කඩුවේ තරුණයන් පිරිසක් සමත්වුහ.
කළුතර දෙස සිට කොළඹ දෙසට ලොරි රථය ධාවනයවී තිබූ අතර , අධික වේගයෙන් පිටුපසින් පැමිණි වෑන් රථය කුඩා වස්කඩුව ප්‍රදේශයේ දී ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.
විශාල හඩක් නගමින් අනතුර සිදුව ඇති අතර , ප්‍රදේශයේ තරුණයන් පිරිසක් ස්ථානයට ළගාවී සිරවී සිටී පුද්ගලයා විනාඩි 30 ක පමණ මෙහෙයුමකින් බේරාගන්නා ලදී.
ඒ වනවිටත් 1990 සුවසැරිය ස්ථානයට ළගාවී තිබූ අතර ඔවුන්ගේ උපදෙස් අනුව තරුණ පිරිස කටයුතු කරනු ලැබීය.
කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ද ස්ථානයට ළඟා වී තිබූ අතර, ඒ වනවිටත් තරුණයින් අනතුරට පත් පුද්ගලයා මුදාගෙන 1990 සුවසැරියෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබීය.

