විදේශ ඇමති නිව්යෝක් හීදි තායි විදේශ ඇමති හමු වෙයි


( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව හා තායිලන්තය ඇතර දීර්ඝ කාලයක් තිස්සේ බෞද්ධ උරුමයන් මත ගොඩනැගුන සබඳතා තර කර ගැනීමට දෙරටේ විදේශ අමාත්‍යවරු එකගතාවය පළ කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ  තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රමාත්‍ය සහ විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා නිව්යෝර්ක් නුවරදී හමුවූ සිදු  කළ සාකච්ඡාවේ දී මෙම එකගත්වය පළ කළහ.

රටේ අනුමැතියකින් තොරව විදේශීය විසඳුම් තනි රටවල් මත පැටවීම එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට පටහැනිය යන ප්‍රතිපත්තිමය ස්ථාවරය සඳහා තායිලන්තය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව තායිලන්තය විදේශ අමාත්‍යවරයා  හමුවේදී අමාත්‍ය මහාචාර්ය ජී.එල් .පීරිස් මහතා තායිලන්ත රජයට සිය ස්තූතිය පුද කළේය.

ප්‍රමාණවත් තරම් ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ නොසිටි අවස්ථාවක දී බෞද්ධ භික්ෂු ශාසනය පවත්වා ගැනීම සඳහා තායිලන්තය ලබා දුන් සහය අගය කළ  මෙරට විදේශ අමාත්‍යවරයා ථෙරවාදී බුදු දහම අනුගමනය කරන රටවල් දෙකක් ලෙස ශක්තිමත් හා ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා පවතිවන බවද පෙන්වා දුන්නේය.

මෙම හමුවේදී අදහස් දැක්වූ තායිලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රාජකීය “කඨින” උත්සවයට සහභාගී වීමේ මතකයන් පිලිබඳව සඳහන් කර සිටියේය.

කොවිඩ්-19 වසංගතයට පෙර තායි වැසියන්ට ශ්‍රී ලංකාව බෞද්ධ වන්දනා මාර්ගයේ කොටසක් වූ අතර, කොවිඩ්-19 වසංගතය පාලනය කළ පසු එය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද තායිලන්ත විදේශ අමාත්‍යවරයා අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා හමුවේ වැඩිදුරටත්  පැවසීය.

බිම්ස්ටෙක් හි සභාපති ධූරය ශ්‍රී ලංකාව වෙතින් භාර ගැනීමට සහ ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට තමන් සූදානම් බව තායිලන්ත විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

දේශගුණික විපර්යාස වැළැක්වීමේ වැදගත්කම සහ ආයතනික අංශය, ප්‍රජාව සහ තරුණයින් යන සියල්ලන්ම ඒ සඳහා සම්බන්ධ විය යුතු බවත් , ගැටලු නිරාකරණය කර ගනිමින් , සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවද තායි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

දෙරට අතර සබඳතා රජයන්ට පමණක් සීමා නොවන අතර, ජනතාව අතර ද පවතින බව අමාත්‍යවරයා අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී අවධාරණය කළේය.

 බිම්ස්ටෙක්, අයෝරා සහ ආසියානු සහයෝගිතා සංවාදය වැනි බොහෝ ජාත්‍යන්තර හා කලාපීය කණ්ඩායම්වල දී දෙරටම එක්ව කටයුතු කර ඇති බවද අමාත්‍ය ජී.ඒල්.පීරිස් මහතා මෙහිදී තායිලන්ත විදේශ අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නේය.

 කෘෂිකර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය සහ මැණික් හා ස්වර්ණාභරණ සඳහා දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පුළුල් අවකාශයක් පවතින බවත් , ලාංකික නිෂ්පාදනවලට වටිනාකම් එකතු කිරීමට ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන අතර, තායිලන්තයෙන් ඒ පිළිබඳ ප්‍රවීණතාව ලබා ගත හැකි බවද මෙරට විදේශ අමාත්‍යවරයා  කීවේය.

රටේ අනුමැතියකින් තොරව විදේශීය විසඳුම් තනි රටවල් මත පැටවීම එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට පටහැනිය යන ප්‍රතිපත්තිමය ස්ථාවරය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා, තායිලන්ත රජයට සිය ස්තූතිය පුද කළේය.

ඡායාරූප කැප්ෂන්- විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ  තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රමාත්‍ය සහ විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා නිව්යෝර්ක් නුවරදී හමුවී සාකච්ඡා කළ අයුරු ඡායාරූපයේ  දැක්වේ.