විදෙස් රටවල සේවයට යන්නන්ට ෆයිසර් ඉල්ලයි


(විනීතා එම් ගමගේ)

සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා කුවේටයේ රැකියාවට යාමට අපේක්ෂාවෙන් සිටින පිරිසට තෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සෞඛ්‍ය අමාත‍්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.

කුවේට් රජය එරට තුළ අනුමත කර ඇත්තේ ෆයිසර්, කොවිෂීල්ඩ් මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් පමණක් වන බැවින් ඒ අනුව කුවේටයේ රැකියා බලා පිටත්ව යාමට සූදානමින් සිටින සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත 3වන මාත්‍රාව ලෙස ලබාදීමට අවධානය යොමුකරන්නැයි තමන් සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටි බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා ලංකාදීපයට පැවැසීය.

සමහර රටවලට ඇතුල් විය හැක්කේ එම රටවල් විසින් නම් කර ඇති එන්නත් අතරින් එකක් ලබා ඇත්නම් පමණක් වන බැවින් එසේ නම් කර ඇති රටවලට යන අයට නම්කර ඇති එන්නත් ලබා නැත්නම් අමතර මාත්‍රාවක් හෝ දෙන්නැයි කොවිඩ් කමිටුව රැස්වූ අවස්ථාවන්හි දී ද එහි අවධානය යොමු කරවූ බව රන්දෙනිය මහතා කීය.

විදේශ රැකියා සදහා යන පුද්ගලයින් දිවයිනෙන් පිටත් විය යුත්තේ කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දින 14 ක් ගතවූ පසුව බවද හෙතෙම සඳහන් කළේය.