විදෙස් අරක්කු පල්වතුර-තේ කහට වීම ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි


(රෝෂන් තුෂාර)

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  ඉදිරිපත් කළ වටිනා විදේශීය  මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග පරිදි විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන්  වාර්තාවක් කැඳවන්නැයි  කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය  කොළඹ අපරාධ කොට්ඨාසයට අද(01) නියෝග කළාය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරය ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල්  81ක් සහ බියර් බෝතල් 150ක්   මෙසේ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට නියෝග කළාය. පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අදාල මත්පැන් තොගය විනාශ කරන ලෙසට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පසුගිය පෙබරවාරි 17 දින නියෝග කොට ඇත.

මත්පැන් තොගය විනාශ කිරීමේදී ඒවා සැබෑ මත්පැන් නොවන බවට මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ,බෝතල් වලට යළි සීල් තබා අධිකරණ නඩුබඩු කාමරයේ ගබඩා කරන ලෙසට   නියෝග කොට ඇත.

මත්පැන් තොගය පල් වතුර හා තේ වතුර බවට පත්කළේ කළේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශනය අනුව මත්පැන් තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට  ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.