විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ 159 ක් වසර දෙකකදී රට හැරයති


(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 ක් වසර දෙකක කාලයක් තුළ විදේශගතව ඇති බවත් ඉන් ඉංජිනේරුවන් 105 ක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54 ක් නිල නිවාඩු ලබා ද, විදේශගත ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (15) පැවසීය.

එම මණ්ඩලයේ සේවය කළ පළපුරුදු සහ ඉතාමත් සංකීර්ණ රාජකාරිවල නිරතවූ ඉංජිනේරුවන් තව දුරටත් සේවයෙන් ඉවත්වුවහොත් ලංවිම දැඩි අර්බුදතාකාරී තත්වයකට පත්වන බව කී පරාක්‍රමසිංහ මහතා රට තුළ පවතින ආර්ථික පසුබෑම සහ ඉහළ බදු මෙම තත්වයට ප්‍රධාන හේතුව බව ද සඳහන් කළේය.

නිවාඩු ලබා විදේශගතව සිටින ඉංජිනේරුවන්ගේ වැඩි සංඛ්‍යාවක් විවිධ රටවල්වල ස්ථිර පදිංචි බලපත්‍රය ගැනීම සඳහා ගොස් ඇති බව දැනගන්නට ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් නැවත සේවයට පැමිණෙයි යැයි විශ්වාස කළ නොහැකි බවත් ඒ මහතා කීය.

විදේශවල අලුත් ඉංජිනේරුවෙක්ට මාසකට ඩොලර් 4,000 ක පමණ වැටුපක් ලැබෙන බවත් පළපුරුදු ඉංජිනේරුවෙක්ට ඇතම් රටවලදී මසකට ඩොලර් 6,000 ත් 8,000 ත් අතර වැටුපත් ලැබිය හැකි බවත් ඒ මහතා කීය.