(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය,ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම යන ආයතනවල ගැටළු රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී(කෝප්) ඊයේ (21)පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ.
එම ගැටලු සම්බන්ධයෙන් ඉදිරි කෝප් කමිටු රැස්වීම්වලදී තවදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය විය.
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) විශේෂ රැස්වීමක් එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද පැවැත්විණ.
කාරක සභාවේ ඉදිරි වැඩකටයුතු සහ කැදවීමට නියමිත ආයතන ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
කොවිඩ් තත්වය හේතුවෙන් පසුගිය කාලයේ කෝප් කාරක සභා රැස්වීම් පැවැත්වීමට නොහැකිවූ බැවින් ලබන පාර්ලිමේන්තු සතියේ සිට නැවතත් සතියට දින තුනක් කාරක සභා රැස්වීම් පැවැත්වීම පිළිබදවද මෙහිදී අවධානය යොමු කළ බව කෝප් කමිටුව පවසයි.
එසේම නවවැනි පාර්ලිමේන්තුවේ 2 වැනි කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබදවද කමිටුවේ අවධානය මෙහිදී යොමුවිය.
මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සම්බන්ධ වාර්තාව මත පදනම්වූ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට කතානායකවරයා කළ ඉල්ලීමට අනුව එය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට ඒ පිළිබද කරුණු ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය විය.
මෙම රැස්වීමට අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, නලින් බණ්ඩාර, එස්.එම් මරික්කාර්, මධුර විතානගේ සහ එස් .රාසමානික්කම් යන මහත්වරුද විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතාද සහභාගි වූහ.

