විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දෙරට අතර විදුලි යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය ඇතුළු යාන්ත්‍රික උපකරණ අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එවකට කර්මාන්ත විෂය බාර අමාත්‍යාංශය සහ වියට්නාම සමාජවාදී ජන රජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට 2011 වර්ෂයේදී අත්සන් තබා ඇත. 

2019 වර්ෂයේදී දෙරට අතර පැවති වෙළෙඳාම පිළිබඳ අනුකමිටුවේ දෙවන රැස්වීමේදී එකී අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබේ. 

ඒ අනුව දියුණු තාක්ෂණයන් හුවමාරු කිරීමට පහසුකම් සැලසීමෙන් සහ දේශීය පාර්ශ්වකරුවන් සඳහා පුහුණුව සහ ධාරිතා ගොඩනැංවීමේ කටයුතු සඳහා ප්‍රවේශය ලබා දෙමින් සංශෝධන ඇතුළත් කොට යාවත්කාලීන කරන ලද යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.