(ඩයනා උදයංගනී)
විදුලි ගාස්තු සංශෝධනය ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතත්, මහජන උපයෝගීතා කොමිසම මගින් යම් සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඔවුන්ට පෙබරවාරි 15 වැනිදා දක්වා කාලය ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමට ඒ සඳහා සහනදායී නිර්දේශයන් ඉදිරිපත් කළ හැකි නම් ඒ සඳහා වෙනස්කම් කිරීමට යටත්ව ජනවාරි 1 වැනිදා සිට නව ගාස්තු වැඩිකිරීම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
කොමිසම මගින් ගාස්තු අඩුකිරීමක් ඉදිරිපත් කළොත් එකී සංශෝධන අනුව ඉදිරි මාසික විදුලි බිල්පත මගින් අවශ්‍ය ගැලපීම් සිදුකරන බව ද ඇමතිවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීඅද අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

