(සුජිත් හේවාජුලිගේ)
විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිය අවසාන තීරණය ලබන 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් කොමිසම මුළු රටම නියෝජනය වන පරිදි අහඹු ලෙස 500 දෙනකුගෙන් අදහස් හා යෝජනා ලබාගෙන ඇත.
මෙම යෝජනා සහ අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම විසින් සිය තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
විදුලිබිල සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය සැප්තැම්බර් මස 18 වැනිදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරිි. මහජන අදහස් ලබා ගැනීමේ අවසාන සැසිය පැවැත්වුණේ පසුගිය 8 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. එය බස්නාහිර පළාතේ මහජන අදහස් විමසීමයි
විදුලි ගාස්තු සියයට 6.8 ක් ඉහළ දැමීමට යෝජනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට ඉකුත්දා බාරදුන්නේය.
මේ අතර විදුලිබිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ විදුලි බිල සියයට 30කින් පමණ අඩු කරන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව තවත් වටයකින් විදුලි බිල සියයට 6.8කින් වැඩි කිරීමට උත්සාහ දරණ බවයි.
විදුලි බිල වැඩි කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන නියෝජිතයෝ දැඩි ලෙස විරෝධය පළ කරමින් සිටිති. විදුලිය බිල නැවත වරක් වැඩි කළහොත් මෙරට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවත් විදෙස් ආයෝජන පවා ආපසු හැරී යා හැකි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

