විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට මිලියන 14 ක ශිෂ්‍යත්ව


මධ්‍යම හා නැගෙනහිර පළාත්හි විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන්  601 දෙනෙකු සදහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම  ස්ථාන කිහිපයකදී  පැවැත්විණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය  මගින්  රුපියල්  14,915,000.00  ක ශිෂ්‍යත්ව  දරුවන් වෙනුවෙන්  මෙහිදී පිරිනැමිණි.

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්කවල දරුවන් 349 දෙනෙකු සදහා රුපියල් 8,720,000.00 ශිෂ්‍යත්ව පිරිනැමුණ අතර  පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 81 ක්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 228 ක් සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 40 දෙනෙකු සදහා ද ශිෂ්‍යත්ව පිරිනැමිණි.

අම්පාර දිස්ත්‍රික්කයේ දරුවන් 252 දෙනෙකු සදහා රු.6,195,000.00 ක ශිෂ්‍යත්ව අම්පාර ඩී.එස්.සේනානායක විද්‍යාලයේදී ලබාදුන් අතර, එහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 85 ක්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 135 ක් සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 32 දෙනෙකු සදහා ද  ශිෂ්‍යත්ව ලබා දුන්හ.

කාර්යාංශයේ මගින් වාර්ෂිකව මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතවී සිටින මව්පියන්ගේ  දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සදහා රු.20,000.00 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවෙකු සදහා රු.25,000.00 බැගින් හා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවෙකු සදහා රු.35,000.00 බැගින්ද මුල්‍යමය ශිෂ්‍යත්ව ලබා  දීමට කාර්යාංශය කටයුත් කර තිබිණි.

2018 වර්ෂයේදී විගමණික දෙමාපියන්ගේ දරුවන් 3203 දෙනෙකු සඳහා රු.80,130,000.00 මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට නියමිතය.

(36698)