වික්ටෝරියා වේල්ල අවට හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කරයි


(ඩයනා උදයංගනී)

වික්ටෝරියා වේල්ල අවට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන වහාම ඉවත් කිරීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

ඒ අනුව වික්ටෝරියා ජලාශයේ වේල්ල ආසන්නයේ මීටර් 100ක් තුළ විශාල මට්ටමින් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන තුනක හා සුළු වශයෙන් කැණීම් කළ ස්ථානවල කැණීම් බලපත්‍ර තහනම් කළ බව එම කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පැවසීය.

වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවල පසුගිය කාලයේ සිදුවූ සුළු භූ චලනයන්ට හේතුව ලෙස ඒ අවට ප්‍රදේශයේ පවත්වාගෙන යන හුණුගල් කැණීම් ස්ථාන බවට තහවුරුවීම හේතුවෙන් මෙම පියවර ගත් බව සභාපතිවරයා සඳහන් කළේය.

  පසුගිය කාලයේ ඒ අවටින් වාර්තා වූ භූ චලනයන්ට හේතු සොයාබැලීම සඳහා පරිසර අමාත්‍යාංශය මගින් පත්කළ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුව වික්ටෝරියා ජලාශයේ ආරක්ෂාව සඳහා වහාම ගත යුතු පියවර දක්වා තිබූ බවත් ඒ අනුව මෙම පියවර ගත් බවත් ඔහු කීවේය.

වික්ටෝරියා ජලාශය අවට සුළු භූ කම්පන තත්වයන්ට හේතුව එම  ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ සිදුවන හුණුගල් තට්ටු බිද වැටීම් බවත්, හුණුගල් කැණීම් ස්ථානවල සිදුවන පිපිරවීම් නිසා ඇතිවන කම්පන ද අභ්‍යන්තර හුණුගල් තට්ටු බිඳ වැටීම්වලට හේතුව බවත් එහි සඳහන්ව තිබිණි යැයි හෙතෙම පැවසීය.