වැලි, පස්, බොරළු හා කළුගල් ප්‍රවාහන බලපත් ඔන්ලයින් ක්‍රමයට


(ඩයනා උදයංගනී)

වැලි, පස්, බොරළු හා කළුගල් ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත් මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීම මෙම මස 30 වැනිදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

සංවර්ධන ව්‍යාපෘති ඇතුළු ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් අවශ්‍ය මෙම ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීම සඳහා දිනපතා පැමිණෙන පිරිස් අවම කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා පැවසීය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ප්‍රාදේශීය කාර්යාලවලින් ප්‍රවාහන බලපත් ලබා ගැනීම සඳහා දිනපතා 1000-2000ත් අතර පිරිසක් පැමිණෙන බවත්, වසරකට ලක්‍ෂ 10 ට වැඩි බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කරන බවත් කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වාර්ෂිකව එම බලපත් අලුත් කළ යුතු බැවින් දිනපතා දැඩි තදබදයක් පවතින බව සඳහන් කළේය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් මෙම වසරේ ගත වු කාලය තුළ ප්‍රවාහන බලපත් 777,000 ක් නිකුත් කර ඇතැයි ද ඔහු කීය.